Saturday, November 3, 2012

මම එතකොට ටෙනිස් කියනේ මොකක්ද කියලවත් දන්නෑ.


යුද්ධය කියන මතෘකාව ගැන කතා කරන්න මොනතරම් අකමැති වුවත් අද අපේ කතාවේ කතා නයකයා ගැන කියන්නට නම් යුද්ධය ගැන වචනයක් දෙකක් කතාකරන්නට සිදුවෙනවා.

සහෝදර දෙමළ ජනතාවට ඔවුන්ගේ ගෙවල් දොරවල් ජීවිත අහිමි කළ යුද්ධය සිංහල අපේ වුන්ටත් හුගක් දෙවල් අහිමි කලා, දේශභිමානය දේශානුරාගය කරපින්නාගෙන අපේ කොල්ලො කෙල්ලො හමුදාවට එකට බැඳුනා කියල පාලකයෝ කිව්වට ඇත්තටම උන් සටන් කලේ අහිංසක අම්ම තාත්තගේ බඩගිනි නිවන්න, තමන්ගෙම සහෝදර සහෝදරියන්ව අධ්‍යපනයේ දුරම තැනකට එක්ක යන්න.

උපාලිටත් බලාපොරොත්තු ගොඩක් තිබුණ. අග හිග කම් එන්න එන්නම වැඩිවෙද්දී උපාලිත් හමුදාවට බැදුණා. ජීවිත යුද්ධයේ අඩි කිහිපකින් හරි ඉදිරියට යන්න වෙර දරපු උපාලිට යුද්ධය නිසා එයාගේ එක් පාදයක් අහිමි උණා.

එහෙත් අද අපි කතා කරන්නේ යුද්ධය නිසා පාදයක් අහිමි කර ගත් ඒ සොල්දාදුව ගැන නම් නොවෙයි. ජීවිතේ ජීවත් කරවන බලාපොරොත්තු කුඩුපට්ටම් උනාට පස්සෙ අලූත් බලාපොරොත්තුවක් එක්ක ජීවිතේට අලූත් පාටක් දෙන්න හදන ක‍්‍රීඩකයෙක් ගැනයි. ඔහු නිකම්ම නිකම් ක‍්‍රීඩකයෙක් නොවෙයි.ඒ මේවන විට ලන්ඩනයේ පැවැත්වෙන පැරාලිම්පික්හි ( ආබාධිත ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල) ටෙනිස් ක‍්‍රීඩා කරන උපාලි රාජකරුණා ගැනයි

හරි අපි ඒ උපාලි ගැන ටිකාක් කතා කරමු.

මගේ ගම කැකිරාව. 93 දී මම ආර්මි එකට බැදුනේ. 97දී වැලි ඔයදී වෙඩි වැදිල මගෙ එක කකුලක් කපන්න සිද්ද වුණා. පස්සෙ මම අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ කකුලක් නැතිව ඉඳිද්දී එක එක ක‍්‍රීඩා කරන්න පෙලඹුණා.

එක එක ක‍්‍රීඩා කිව්වෙ ?


මම එහිදි බැඞ්මින්ටන්, උස පැනීම , පිහිනුම්, බාස්කට් බෝල්, මීටර් 100-200, වගේ ක‍්‍රීඩා කළා. යුද හමුදා ආබාධිත ජාතික ක‍්‍රීඩා උළෙලේ දෙවතාවක්ම බැඞ්මින්ටන් ඉසව්වෙ ජාතික ශූරයා උණා. ආබාධිත උස පැනීමේ ඉසව්වෙ ජාතික වාර්තාවත් මගේ.

එහෙමනම් ඇයි ටෙනස් ක‍්‍රීඩා කරන්න පෙළඹුනේ?

ඇත්තටම ටෙනිස් කියන්නෙ මොනවගේ ක‍්‍රීඩාවක්ද කියල මම දැකලවත් තිබුණේ නෑ. 2002 ජනවාරි මසයේදී ලංකාවට ආවා එංගලන්තයේ මාර්ක් බොලොක් කියල පුහුණුකරුවෙක්. එයා පුහුණු කඳවුරක් කළ ශ‍්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ. ඉතින් මේකට ආබාධිත අයව යොමු කරවන්න කියල අබේපුස්ස අපේ කැම්ප් එකටත් කියල තිබුණා. ඒ කඳවුරට 100 ක විතර පිරිසක් ඇවිල්ල තිබුණා. ඉන් 30 දෙනෙක්ව තෝරා ගත්ත ටෙනිස් ක‍්‍රී‍්‍රඩා කරන්න.

ඒ අතර මමත් හිටිය. අපි ඉස්කෝලෙදී සෙල්ලම් කරල තිබුණේ එල්ලෙ වොලිබෝල් විතරයි.

ටෙනිස් රැකට්ටුවක් පවා අල්ලන්න නොතේරෙන මට ඒක අල්ලන්න පවා කියාදුන්න ඉන්ද්‍ර කුමාර සර්. ටික දවසක් ඒ විදිහට සෙල්ලම් කරල තායිලන්ත ටුවර් එකක් ගියා. ඇත්තටම ටෙනිස් වලට ආසාවක් ඇති වුනේ ඊට පස්සේ. එහෙදි වෙනත් රටවල ආබාධිත ක‍්‍රීඩකයෝ ක‍්‍රී‍්‍රඩාකරන හැටි දැකලා අපේ මනස ඉබේටම හැදුණා. දිගටම ක‍්‍රීඩා කරන්න ඕනේ කියලා ඊට පස්සේ තමයි හිතුණේ.

උපාලි මෙවර පැරාලිම්පික් යන්නෙ දෙවැනි වතාවට. ඒ ගැන ටිකක් කතා කොලොත් ?

ඔව්, 2008 පැරාලිම්පික්වල මම ටෙනිස් ඒකල ක‍්‍රීඩා කළා. මට පළවෙනි වටයෙදී

හමුවුනේ බ‍්‍රසීල් ක‍්‍රීඩකයෙක්. හොඳ පුහුණුවක් ලැබුණත් අත්දැකීම් අඩු නිසා දෙවැනි වටයෙන් මම පරාජයට පත් වුණා. එහෙත් මෙවර මම ඒකල යුගල කියන අංශ දෙකෙන්ම ක‍්‍රීඩා කරනවා. මම විශ්වාස කරනවා. මෙවර යම් ජයග‍්‍රහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.

ඔයාගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන් ගැන ඔයා දැනුවත්ද?
ඔව්. මම මේ වනවිට රටවල් 30 ක පමණ තරගාවලිවලට සහභාගි වෙලා තියනවා. ඉතින් මට විවිධ තරා තිරම්වල ක‍්‍රී‍්‍රඩකයන් සමගා ක‍්‍රීඩා කරන්න ලැබිලා තියෙනව. ඒත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයෙන් ඉහළ ඉන්න ක‍්‍රීඩකයන් සමග ක‍්‍රී‍්‍රඩා කරන්න ලැබිලා නැහැ, හැබැයි ක‍්‍රීඩකයො ගැන අවබෝධයක් මට තියෙනවා.

එහෙමනම් මිරර් පවුලේ අපි ප‍්‍රාර්ථනා කරනවා ඔබ ඇතුළු පිලට ජය !

ගොඩාක් ස්තූතියි ඔයාල අපිව හොයාගෙන ආවට. ඒ වගේම මට පුංචි දෙයක් කියන්න තියෙනවා. මට මේ තත්ත්වයට එන්න උදව් කරපු ශ‍්‍රී ලංකා ටෙනිස් සම්මේලනයටත් ක‍්‍රීඩා අමාත්‍යංශයට, යුධ හමුදාවෙන් ලබා දෙන සහායට, මට අනුග‍්‍රහකත්වය ලබාදෙන හෙඩ් (head) අයතනයට වගේම මගේ පුහුණුකරුවන්ටත් ස්තුතියි කියලා...

 සටහන  : හිමාෂි කරුණාරත්න
ඡායාරූප - අජිත් සෙනවිරත්න
උපුටා ගැනීම -www.mirrorgames.lk

No comments:

Post a Comment