Monday, March 28, 2016

වෙනස් නොවූ දයා

දයාසිරි ජයසේකර ගායකයෙකු ලෙස වරෙක අපට මුණගැසුනේ 'මෙගා ස්ටාර්' නම් රූපවාහිනී රියැලිටි වැඩසටකිනි. එහිදී ඔහු සිය ප්‍රසාංගික හැකියාව මනාව විදහා පෙන්වූවා අපට මතකය. පසුව ඔහු සිය ' ඔයා හුඟාක් වෙනස් වෙලා' ගීතය සහ මියුසික් වීඩියෝව එළිදක්වමින් ගායන මෙන් ම රංගන හැකියාව ද විදහා ලූයේය. කෙසේ වෙතත් පාසැල් වියේ පටන් ක්‍රීඩකයකු වූ සහ තරුණ දේශපාලඥයකු වන ඔහුට ක්‍රීඩා අමාතංශය භාර කෙරෙන විට සමස්තයක් ලෙස ලාංකීය ක්‍රීඩාලෝලීන්ට ඇති වුණේ අනාගතය පිළිබඳව සුභවාදී හැඟීම් ය.
පසුගිය දා පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ද ඔහු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ගැවසෙමින් ඔවුන් දිරිමත් කරමින් ක්‍රියාශීලී ලෙස හැසිරෙනු මාධ්‍ය හරහා දුටු සැමගෙන් ම ඔහු කෙරෙහි මහත් ප්‍රශංසාවක් පළවිය. එහෙත් තරඟාවලිය නිම වීමෙන් අනතුරුව ආපසු පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසනා තොරතුරු අනුව බලන කල දයාසිරි ඇමතිවරයා ද කර ඇත්තේ අවසාන මොහොතේ ක්‍රීඩා පිටියට මුහුණ දා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දහඩිය මහන්සියෙන් ලබාගත් පදක්කම් මතින් තමුන් දේශපාලන ලකුණු රැස් කිරීමක් පමණි. සරලව ම කිවහොත් එය රඟපෑමක් පමණක් වී ඇති අතර 'දයා ටිකක් වත් වෙනස් වී නැත'.

තල්ලුවක් නොදුන් රත්තරන් ජයක්

2010 වසරේ පැවති 11 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී  ලංකාව පසුවුණේ බංග්ලාදේශයටත් පසුපසින් 4 වැනි ස්ථානයේය. ඊට සාපේක්ෂව මෙවර සැලකිය යුතු පියවරක් ඉදිරියට යමින් දෙවැනි ස්ථානයෙහි රැඳෙන්නට අපට හැකියාව ලැබුණි. රන් පදක්කම් 25ක් රිදී පදක්කම් 63ක් සහ ලෝකඩ පදක්කම් 98ක් වශයෙන් සමස්ත පදක්කම් 186 සමඟ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ද බිහි කිරීමට මෙහිදී හැකිවූ නමුත් මෙම ජයග්‍රනයන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ධෛර්යය මත මිස අමාත්‍යංශයේ හෝ ඔලිම්පික් කමිටුවේ විශේෂ දිරිගැන්වීමක් මත ලද දෑ නොවන බව පෙනීයයි.

අතින් කා හරක් බැලීම

රන් පදක්කම් 25න් 12ක්ම ලබාගැණුනේ පිහිනුම් ඉසව්වලිනි. ඒ, මැතිව් අබේසිංහ 7ක් සහ කිමිකෝ රහීම් 5ක් වශයෙනි. තවත් රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනාගැනීමට ලාංකීය පිහිනුම් කණ්ඩායම සමත් වී තිබුණි. එහෙත් මැතිව් අබේසිංහ ක්‍රීඩකයා පවසනා ආකාරයට පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අමාතාංශයෙන් විශ්ෂ ඇඳුම් කට්ටලයක් හෝ ලබා දී නැත. සාමානයෙයන් කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයක මිල රුපියල් 50,000 - 60,000 පමණ වන බවත් පිරිමි පිහිනුම් ඇඳුම් කට්ටලයක් රුපියල් 30,000 - 40,000 අතර වන බවත් පැවසූ ඔහු ඒවා ලබා ගන්නට සිදුවුණේ තම තමන්ගේ තනි වියදමින් බවද පවසා සිටියේ ය. මේ ක්‍රීඩකයින් තරඟවදින විට කැමරාවට මුහුණ පෙන්නා හුරේ දමන්නට පැමිණිමුත් දයාසිරි ඇමතිවරයා මේවා පිළිබඳව සොයා බැලීමක් කර නැත.  

හැරමිටියෙන් සාග් ගිය හැටි

එමෙන් ම බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා වයස 42ක ක්‍රීඩිකාවක් ද සහභාගී කර තිබිණි. මෙම ක්‍රීඩිකාව පරිපාලනයට ද සම්බන්ධ වෙමින් කොළඹින් පිට තනතුරක්ද දැරීම සදාචාරාත්මක ගැටළුවක්ද මතු කරනා අතර ක්‍රීඩාව තුල අනාගතයක් ඇති යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැඩ්මින්ටන් සංගමයට ශ්‍රී  ලංකාව තුල සොයා ගැනීමට සිටියේ ම නැතිද යන ප්‍රශ්නය මෙතැන පැන නඟී.

කට්ට කාටවත් ආඩම්බරය තවත් කාටවත්

රේසින් පාපැදි අංශයේ කිලෝමීටර් 40 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා දුන් අනුරාධපුර මිහින්තලය මහා විඳ්යාලයේ උදේශනී නිරංජනී කුමාරසිංහ ශිෂ්‍යාව මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට පුද්ගලික වියදම් සොයාගෙන තිබුණේ ඇගේ පියා විසින් සිය නිවස උකස් කර ලබා දුන් මුදලිනි. ඇය පවසනා ආකාරයට එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනූ ඉන්දීය ක්‍රීඩිකාව භාවිතා කළ පාපැදිය රුපියල් ලක්ෂ 27ක් වටිනා එකක් වූ අතර ඇය තරඟ වැද තිබුණේ රුපියල් 75,000ක් වටිනා පාපැදියකිනි. තාක්ෂණිකව ඇය ලද අඩු පහසුකම් ගැන කියන්නට මීට වඩා කරුණු අව්‍යශ නැත. ඇගේ දුෂ්කරතාවයන් පිළිබඳව සොයා බලන්නට කිසිදු බලධාරියකු උනන්දුවී තිබී ද නැත.

නොමිලේ සැප සවාරියක්

මෙසේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොටසක් බාධක මැදින් ජයග්‍රහණයන් සොයා යද්දී සුපුරුදු පරිදි බලධාරීන්ගේ අනුහසින් තවත් පිරිසක් ක්‍රීඩා සවාරියක නියැළීමට ද අවස්ථාව ලබා තිබිණි. ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමට මෙම තරඟාවලියට සහභාගී නොවන ලෙස ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය මඟින් අනතුරු හැඟවීමක් කර තිබිණි. ඒ ඉන්දීය පැසිපන්දු සම්මේලනයට ඔවුන් පනවා තිබුණු තහනමක් හේතුවෙනි. එය නොතකා ඔවුන් ඉන්දියාවට රැගෙන යාම නිකම්ම සවාරියක් පමණි. එසේම මෙරට ජාතික මට්ටමෙන් තරඟාවලියක් හෝ සංවිධානය නොකරණා හෑන්ඩ් බෝල් සහ කෝ - කෝ ක්‍රීඩාවන් වෙනුවෙන් ද කණ්ඩායම් ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදයෙන් සහභාගී කරවා තිබුණු අතර ඔවුන්ට කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණේද නැත.

සාක්කු පිරෙන්න රත්තරන් විතරක් ඇතිද?

නමුත් තරඟාවලියෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ඔලිම්පික් කමිටු ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු පවසා තිබුණේ මෙහි රිදී සහ ලෝකඩ පදක්කම් වලට කිසිදු වටිනාකමක් නොමැති බවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට අවම පහසුකම් යටතේ පුහුණුවී තම ඇඳුමේ සිට වියදම් පවා තමුන් අතින් ම පියවා ගෙන තරඟ වැදී ගෙනා පදක්කම් වලට කොළඹ සීත කාමරවල ක්‍රීඩාවේ නාමයෙන් සැප විඳිමින් සිට අවමන් කිරීම ඉතා නින්දිත නරුම ක්‍රියාවක් වශයෙන් හෙළා දැකිය යුතුය. වටිනාකම් දරණ රන් පදක්කම් ඉබේ පහළ නොවනා බව ඔලිම්පික් කමිටුවේ මහතැනටද නොවැටෙහේ නම් එය රටේ අවාසනාවකි.

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ යහපාලනයෙනුත් ක්‍රීඩාවට අමුතු යමක් තවමත් ලැබී නොමැති බවය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලේ කඳුළු දහඩිය පදක්කම් වලට හැරෙනා විට එතැනට පැන කැමරාවට මුහුණ දමා ගන්නා ෆොටෝ ජෙනික් ඇමතිවරයකු වෙනුවට රටට අවශව ඇත්තේ ඔවුන්ගේ අඩුපාඩු පිළිබඳව සොයා බලා මුල පටන් ඔවුන් දිරිමත් කරනා ඇමතිවරයෙකි. 'දයා' වෙනස් විය යුතු තැන මෙයයි.


No comments:

Post a Comment